රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය.
නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.
නවලෝක රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්රතිවිරෝධතා ගොනු කරමින් නවලෝක රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර නවලෝක රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබා තිබු එම රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න, තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.
නීත්‍යානුකූලව තම බැංකුව කටයුතු කර තිබියදී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.
හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් නීතීඥවරන් වන දුමින්ද ප්‍රේමරත්න සහ ඉසුරු වීරසුරිය සමඟ නීතීඥ ප්‍රියන්ත අලගියවන්න පෙනී සිටියේය.
The post ධර්මදාස පුතාලා නවලෝක අහවර ම කරයි: බැංකුවට සින්න වුණ නවලෝක රෝහල විකුණන්න අවසර! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.
Source:: Info Sri Lanka