ඉදිකිරීමක් අතරතුර කොන්ක්‍රිට් තට්ටුවක් කඩා වැටී පෙදරේරුවා මරුට

මහරගම සුප්‍රසිද්ධ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක අලුත් වැඩියාවක නියැලෙමින්  සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුර මතට කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයකු ඊයේ  (27) දා මියගොස් ඇතැයි  මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගැමුණු මාවත අංක 826 /  B හි පදිංචි සුදත් මාරඹගේ නමැති (45) හැවිරිදී ඉදිකිරීම් කටයුත්ත කොන්ත්‍රාත් ලබාගත් පෙදරේරුවකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා තවත් කම්කරුවෙකු සමග පැමිණ මෙම නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයේ අලුත්වැඩියාවක්  සිදුකරන අතරතුරදී එහි තිබූ ජනේලයක් ඉවත් කිරීමට බිත්තියක කොටසක් කඩා ඉවත් කරමින් සිටියදී ඊට ඉහලින් තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මෙසේ පෙදරේරුවාගේ සහ කම්කරුවාගේ සිරුර මතට වැටී ඊට යට වී අනතුරට ලක්ව තිබුණි.

සිද්ධියත් සමඟ ආයතනයේ සේවකයින් හා එක්ව කඩිනමින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පෙදරේරුවා මෙසේ මියගොස් තිබූ බව පැවසේ.

පසුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ කොට්ඨාස පරීක්‍ෂණ ආයතන නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලද අතර අද  (28) දා මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

අනතුරට පත් කම්කරුවාගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු ශල්‍යකර්මයකට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් අද  සිදුකිරීමට නියමිතව තිබුණි.,

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කරයි.

The post ඉදිකිරීමක් අතරතුර කොන්ක්‍රිට් තට්ටුවක් කඩා වැටී පෙදරේරුවා මරුට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina