පොලිස් බයික් එකට ගිනි තබා නිලධාරීන්ට ගිනි බිඳින්නත් හදලා – විශ්‍රාමික ආබාධිත සෙබළා අත්අඩංගුවට

යතුරුපැදියට ගිනි තබා ඇති අයුරු

කතරගම රජ මාවත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියකට ගිනි තබා පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිමට උත්සාහ කළ ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළකු ගිනි අවියක් හා ජීව උණ්ඩ සමඟ කතරගම පොලිසිය විසින් 25 අලුයම 12.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 03 වන පෙළ,ගම්උදාව පාර,කතරගම ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකි.

යුක්තියේ මෙහෙයුමට අදාළව කතරගම පොලිසියේ නිලධාරීන්ට නීති විරෝධී මත් පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කතරගම පොලිස් කණ්ඩායමක් 24 වන දින දහවල් කතරගම රජ මාවත ,04 කණුව වැව ප්‍රදේශයට ගොස් තිබේ. වැටලීමට ගිය පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදියක් 04 කණුව වැව ආසන්නයේ නවතා සැකකරු සැඟ වී සිටින බවට තොරතුර ලද ස්ථානය පරීක්ෂා කර යළි පැමිණ බලන විට පොලිස් නිලධාරීන්ගේ යතුරු පැදියට කිසියම් අයෙකු ගිනි තබා විනාශ කර තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබඳ පොලිසිය විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වී තිබුණේ යතුරුපැදියට ගිනි තැබීම සිදුකර ඇත්තේ කතරගම රජ මාවත ප්‍රදේශයේම පදිංචි විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළකු බවයි. ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අලුයම ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි තබා පලා යාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා විදෙස් බෝර 12 වර්ගයේ ජිව උණ්ඩයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තංගල්ල කොටඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

සූරියවැව විශේෂ නුවන් ජයසේකර

The post පොලිස් බයික් එකට ගිනි තබා නිලධාරීන්ට ගිනි බිඳින්නත් හදලා – විශ්‍රාමික ආබාධිත සෙබළා අත්අඩංගුවට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina