ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල් දාන්න බෑ -සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කෙසේවත් කල් දාන්න බෑ. ජනාධිපතිවරණය කැඳවීමෙන් පස්සේ මැතිවරණය නොපවත්වා ඉන්නත් බැහැ. අය – වැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීරිගමදී පැවසීය.

මීරිගම සමගි ජන බලවේගය කාර්යාලයේදී පැවති පාක්ෂික හමුවක් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඡන්දයක් තියෙනවා. ඒ හින්ද අප මැතිවරණ කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කෙසේවත් කල් දාන්න බෑ. ජනාධිපතිවරණය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ඕනෑ. ජනමත විචාරණයක් ඕනෑ. ඊට පස්සේ ඕනෑම කෙනකුට අධිකරණයට යන්නත් පුළුවන්. මම හිතන්නේ නෑ ඒ දේ කරන්න මන්ත්‍රීවරු කැමැත්ත දෙයි කියලා.

ආණ්ඩුව මැතිවරණවලට බයයි. මොන මැතිවරණය කල් දැම්මත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ඒක අනිවාර්යයෙන් තියෙනවා. ඒ සඳහා මෙවර මිලියන දහයක් මුදල් වෙන් කරලා තියෙනවා. සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම මේ පාර මැතිවරණය ජයග්‍රහණය කරනවා.

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර

The post ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල් දාන්න බෑ -සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina