සැරයන් වෙඩි තබාගෙන ඇත්තේ මුරකුටියේ නිලධාරියකු රවටා ගත් ගිනි අවියකින් දින 10ක් සේවයට නොඒම ගැන විමර්ශනයකුත් නියමිතව තිබිලා

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක මුර කුටිය තුළ ඊයේ (27) සවස ටී56 අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් පොලිස් සැරයන්වරයා දින 10ක පමණ කාලයක් සේවයට වාර්තා නොකර සිටි අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මොහු පෙර දැනුම් දීමකින් තොරව දින 10ක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවා පැවැත්වීමට නියමිතව තිබී ඇත. එවන් තත්ත්වයක් පැවතියදී ඔහු ඊයේ (27) පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුව ඇතත්, නිල ඇඳුමින් කෙළින්ම අධිකරණයේ මුරකුටියට පැමිණ ඇත්තේ රාත්‍රී රාජකාරි සඳහා බව පවසමිනි. එසේ පැමිණි ඔහු අධිකරණයේ සිටින නිලධාරියකුගේ නමක් සඳහන් කර, මුරකුටියේ ඒ වන විට රාජකාරියේ නිරතව සිටි නිලධාරියා අධිකරණය තුළට යවා, ඒ නිලධාරියාගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

මාතර තුඩාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක් වන කුමාරප්පෙරුම ආරච්චිගේ රංජිත් නමැති පොලිස් සැරයන්වරයා මෙසේ සියදිවි හානි කරගෙන ඇත. මේ වෙඩි තබාගැනීම සවස 2.30ට පමණ සිදු වී ඇති බව සඳහන්ය. ඒ වන විට අධිකරණයේ කටයුතුද අවසන්ව තිබී ඇති බව පොලිසිය කියයි. වෙඩි හඬත් සමඟ ඒ ගැන අවධානය යොමු කළ අධිකරණයේ ඒ වන විට රැඳී සිටි අධිකරණ කාර්ය මණ්ඩලය, නීතිඥවරුන් සහ අධිකරණය තුළට යවනු ලැබූ පොලිස් නිලධාරියා මුරකුටියට පැමිණ බැලීමේදී පොලිස් සැරයන්වරයා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන සිටිනු දැක තිබේ. ඒ අවස්ථාවේදී ඔහු කඩිනමින් මාතර මහ රොහලට රැගෙන යෑමට කටයුතු කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

මේ නිලධාරියා සියදිවි හානි කරගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි. රාජකාරි ගැටලුවක් හෝ පවුල් ආරවුලක් හෝ තිබුණු බවට කිසිදු තොරතුරක් වාර්තා නොවන බැවින් පෙනී යන්නේ ඔහු මානසික පීඩනයකින් සිට මේ අපරාධය සිදු කරගෙන ඇති බවයැයි දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සිද්ධිය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් සිදු කරනු ලැබීය. මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදු කරමින්, වෙඩි තබාගත් ගිනි අවියත්, වෙඩිල්ලේ හිස් පතරොම් කොපුවත් විමර්ශන කටයුතු සඳහා සිය භාරයට ගත්හ.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න, තෙලිජ්ජවිල සමූහ – වජිර පූජිත ගුණවර්ධන, අකුරැස්ස මධ්‍යම විශේෂ – …read more

Source:: Dinamina