යකඩ පොල්ලකින් ගසා ස්පා කත මරා දාලා හේනක සැඟව සිටි අනියම් සැමියා අල්ලයි

කඳාන ප්‍රදේශයේ වීදීය මාවතේ නිවෙසක යකඩ පොල්ලකින් ගසා අබිරහස් ලෙස මරාදමා තිබු 39 හැවිරිදි තෙරපිවරියකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ අනියම් පුරුෂයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හේනක සැඟව සිටියේදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වු 42 හැවිරිදි පේන්ට් බාස්වරයෙකි.

ඉකුත් දින කඳාන වීදිය මාවතේ පිහිටි නිවෙසකින් ඉවසිය නොහැකි දැඩි දුගඳක් හමන බව එම නිවෙස අවට ප්‍රදේශ වාසීන් කඳාන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කරන ලද කළ සෝදිසි කිරීමේදී එම නිවෙසේ තිබී නරක් වු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට හැකිවු බව පොලිසියට පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිසියට මියගොස් සිටින්නේ කඳාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ SPA ආයතනයක තෙරපිවරියෙකු සේ සේවය කළ කාන්තාවක බව හඳුනා ගෙන ඇත.

වැඩි දුරටත් සිදුකළ විමර්ශනයේදී මියගිය කාන්තාව දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සමඟ වසර 07 කට අධික කාලයක් අඹු සැමියන් වශයෙන් ජීවත්ව සිටි බව හෙළිව ඇත. සිද්ධිය වු දිනයේ සිට දින ගණනාවක් සැකකරු නිවෙසින් මෙන්ම කඳාන ප්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි බව පොලිසිය පවසයි.

සැකකරු හා මියගොස් ඇති කාන්තාව අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් මේ සිද්ධිය ඇතිවු බවට සැක කෙරෙන තොරතුරු රැසක්ද ලැබී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සමඟ සමීප සම්බන්ධතා පැවත්වු තවත් කාන්තාවක ගෙන් ලද තොරතුරතුරක් මත කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ මහතාගේ මෙහෙය වීම මත පොලිස් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හේනක සැඟව සිටියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කඳාන පොලිසියේ ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ජි. එස්. ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.

ජාඇල විශේෂ තිස්ස කොටින්කඩුව

The post යකඩ පොල්ලකින් ගසා ස්පා කත මරා දාලා හේනක සැඟව සිටි අනියම් සැමියා අල්ලයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina