කොතලාවල විශ්වවිද්‍යාලයේ ගැටුමෙන් SI රෝහලේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු සිසුන් පිරිසක් අතර ඇතිවුණු ගැටුමකින් එහි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සංගීත ප්‍රසංගය තිබී ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ මෙහි සිසුන් ලෙස අධ්‍යාපනය ලබන හමුදා සාමාජිකයන් දෙදෙනෙක් බවට තොරතුරු ඇති බවත් ඒ අයට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කරන බවත් මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් නිලධාරියා ද මෙහි දී බීමතින් ගැටුම ඇතිකරගෙන ඇති බව පෙනී යන බැවින් ඔහු සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත්කරන බව ද එම නිලධාරියා කීය.

පහරකෑමට ලක්ව රෝහල්ගතකර සිටින්නේ උප පොලිස් පරීක්ෂක එස්.එල්.වීරසිංහ නමැති නිලධාරියාය.

පොලිස් සේවයට බැඳී වැඩි කාලයක් නොමැති අයෙක් වන ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ උපාධි පාඨමාලාව හැරීමට බව පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති රංග පෙරේරා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

The post කොතලාවල විශ්වවිද්‍යාලයේ ගැටුමෙන් SI රෝහලේ appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina