රහසේ භූමිදානය කරන කොන්දේසිය මත නවාල්නිගේ දේහය මවට භාරදෙයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත ආපසු ලබා දී ඇති බව ඔහුගේ ප්‍රකාශිකාවක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ, ‘රහස්’ භූමදානයකට එකඟවන ලෙසත්, එසේ නොමැති නම් මියගිය බන්ධනාගාර පරිශ්‍රයේම දේහය මිහිදන් කරන බවටත් ඇයට පවසා තිබූ පසුබිමකය.

නවාල්නිගේ ප්‍රකාශිකා කිරා යාර්මිෂ් X සටහනක් තබමින් ඔහුගේ දේහය ආපසු ලබාදෙන ලෙස ඉල්ලා සිටි සැමට ස්තූතිය පළකර තිබේ.

අවමංගල්‍ය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවද ඇය සටහන් කර ඇත.

“එය පවුලේ අයට අවශ්‍ය ආකාරයට මෙන්ම ඇලෙක්සිට ලැබිය යුතු පරිදි සිදුකිරීමට බලධාරීන් බාධා කරනු ඇත්දැයි අපි නොදනිමු.” කිරා වැඩිදුරටත් පවසයි.

නවාල්නිගේ මව, ලියුඩ්මිලා, ඔහු මියගිය සිරගෙදරට ආසන්න නගරයේ පසුගිය සතිය ගතක⁣ළේ, පළමුව ඔහුගේ සිරුර තිබෙන ස්ථානය තහවුරු කර ගැනීම⁣ට උත්සාහ කරමින් සහ පසුව එය ඇයට ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

ඔහු ස්වාභාවික හේතූන් මත මියගිය බවට වන මරණ සහතිකයට අත්සන් කිරීමෙන් පසුව, ඇයගේ පුතාගේ ‘රහස් අවමංගල්‍යයකට එකඟවීමට පැය තුනක කාලයක් ලබා දී තිබිණි.

ඇය එකඟ නොවන්නේ නම් ඔහු මියගිය බන්ධනාගාර භූමිය තුළම ඔහුව මිහිදන් කරන බව ඔහුගේ මවට පැවසූ බව යර්මිෂ් සඳහන් කර ඇත.

කෙසේවෙතත්, ලියුඩ්මිලා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම ප්රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

සෙනසුරාදා, නවාල්නිගේ බිරිඳ යුලියා, ව්ලැඩිමීර් පුටින් තම මියගිය සැමියාගේ දේහය ‘ප්‍රාණ ඇපයේ’ තබාගෙන සිටින බවට චෝදනා කළ අතර, එය කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියාය.

තම සැමියාගේ මරණය පිටුපස රුසියානු ජනාධිපතිවරයා සිටින බවට ඇය නැවතත් චෝදනා කළාය.

ක්‍රෙම්ලිනය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් බටහිර ප්‍රතිචාරය ‘පිස්සුවක්’ ලෙස හඳුන්වා ඇත.

නවාල්නි පෙබරවාරි 16 වැනිදා ආක්ටික් කවය තුළ ඇති රුසියානු බන්ධනාගාරයක දී මියගියේය.

වසර ගණනාවක් ඔහු රුසියානු නායකයාගේ ප්‍රබලතම විවේචකයා ලෙස කටයුතු කළේය.

2020 අගෝස්තු මාසයේදී රුසියානු රහස් ඔත්තු සේවයේ ඝාතකයන් කණ්ඩායමක් විසින් හිටපු විපක්ෂ නායකවරයාට වස පොවා තිබිණි.

ජර්මනියට ගුවන් මගින් ගෙන යන ලද ඔහු සුවය ලබා 2021 ජනවාරි මාසයේදී යළි පැමිණීමෙන් අනතුරුව සිරගත කරනු ලැබීය.

The post රහසේ භූමිදානය කරන කොන්දේසිය මත නවාල්නිගේ දේහය මවට භාරදෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina