මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක තවත් ශ්‍රී ලාංකිකයකු එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තවත් ශ්‍රී ලාංකිකයකු එම ස්ථානයට ගොස් තිබෙන බවද කොටු වී සිටින පිරිස බේරාගැනීම සඳහා මියන්මාර රජය සහ බිම්ස්ටෙක් රටවල් සමඟ සාකච්ඡා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගියදා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තවුසින් මහතා හමු වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ මිනිස් ජාවාරම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් යළි මෙරටට ගෙන්වාගැනීමට මැදිහත් වන ලෙසයි. මෙලෙස මියන්මාරයේ කොටු වී සිටින පිරිසගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් පසුගිය 12 දා මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඇමැති අලි සබ්රි මහතාද මුණගැසී තිබේ.
එවන් පසුබිමක ඩුබායිහි සිටින අතරමැදියකු මාර්ගයෙන් අදාළ ශ්‍රී ලාංකිකයා මෙරට සිට ගුවන් මඟින් ගොස් තිබෙන අතර, තායිලන්ත මියන්මාර දේශසීමාව හරහා සහ ඩුබායි සිට ගුවන් මඟින් මියන්මාරයට පැමිණ මියාවඩි නැමති අදාළ කඳවුර පිහිටා තිබූ ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.
මේ අතර බලහත්කාරයෙන් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සියලු උත්සාහයන් ගන්නා බවත්, ඔවුන් කෙසේ හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒම අරමුණ වී තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නීත්‍යනුකූල රැකියා දෙන මුවාවෙන් මියන්මාරයේ මයිවඩි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මේ ශ්‍රී ලාංකිකයන් වංචාවන්ට හසුව තිබෙන අතර, විදේශ ඇමැති අලි සබ්රි මහතා මේ සම්බන්ධයෙන් එරට නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමැතිවරයා දැනුවත් කර ඇතැයිද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
The post තවත් ශ්‍රී ලාංකිකයකු සයිබර් අපරාධ කලාපයට රැගෙන ගිහින් appeared first on දිනමිණ.
Source:: Dinamina