ජපානයට යවන බව පවසා පුද්ගලයන් 500 දෙනකුගෙන් පමණ රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්රාත් ලක්ෂි ශ්‍රී සූරියගේ මහත්මිය ඊයේ (23) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ කඩවත සූරියපාළුව ප්රදේශයේ පදිංචි බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ ගුරුසිංහගේ ලක්ෂාන් පුෂ්පකුමාර (31) සහ හඳුවලගේ ශර්මිලා ජයරත්න (51) යන දෙදෙනායි. මේ සැකකරුට සහ සැකකාරියට එරෙහිව අධිකරණ මඟින් වරෙන්තු 47ක් නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.
2019 වසරේ සිට 2022 පෙබරවාරි දක්වා කැලණිය, බම්බලපිටිය හා පෑලියගොඩ ප්රදේශවල රැකියා නියෝජිත කාර්යාල පවත්වාගෙන යමින් මේ මුදල් වංචාව සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. මොවුන්ගේ වංචාවට හසු වූ පුද්ගලයන් 160ක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද තවත් පිරිසක් කොළඹ වංචා විමර්ශන අංශයට සහ රට පුරා විවිධ පොලිස් ස්ථානවලටද පැමිණිලි කර ඇති බවත් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේද විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව බවත් සඳහන් කළේය.
මේ සැකකරු හා සැකකාරිය මීගමුව ප්රදේශයේ හෝටලයක සැඟව සිට කුලී පදනම මත වාහන සපයන ස්ථානයකට වාහනයක් ගැනීම සඳහා පැමිණෙන බවට මිරිහාන විශේෂ වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සාලිය ප්‍රසන්න සුමතිපාල මහතාට ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වංචා විමර්ශන ඒකකය ගම්පහ සහ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකක සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචාව විමර්ශන ඒකකය මගින් කාළයක සිට මේ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළද ප්රදේශයෙන් ප්රදේශයට පලා යෑම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබී ඇති බවද මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා අවසන් වරට 2019 වසරේදී කඩවත පොලිසියේ සේවය කර ඇති බවත්, ඔහුගේ සේවය අත්හැර ගියාද? අත්හිටුවූවාද? යන්න පිළිබඳ විමර්ශන සිදු කරන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සැකකාර කොස්තාපල්වරයාගේ අනියම් බිරිය බවට මේ වන විට අනාවරණය වී ඇති …read more
Source:: Dinamina