“පේරාදෙණියේ නවක වධය” අප්‍රසන්න වීඩියෝවක් ලීක් වෙයි! [VIDEO]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසු ගිය දා සිදු වූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතී.

එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන හා තෙවන වසර සිසු පිරිසකට එම පීඨයේ ම සිසු සිසුවියන් පිරිසක් සිදුකළ නවක වධ සිදුවීමක් එහි අන්තර්ගත වී ඇති බව ය.

එහිදී පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මෙය සැප්තැම්බර් 14 වන දා පස්වරුවේ සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, නවක වධයට විරුද්ධ වූ සිසු සිසුවියන් කණ්ඩායමක් බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ ‘ගෙම්බා’ ආපනශාලාව තුළ මෙම සිදුවීම වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත බව ය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

පහර දීම සිදු කර ඇත්තේ, නවක වධයට පක්ෂ තෙවන හා සිව්වන වසර සිසු පිරිසක් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළ බව වාර්තාකරු පැවසීය.

නවක වධයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ මත හේතුවෙන් ඇති වූ විරසකයක් දුර දිග ගොස් මෙම පහර දීම සිදු වී ඇතැයි දැනට සිදුකර ඇති පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කළ විමසීමකදී සඳහන් කළ අතර එම කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 4ක් ලැබී ඇති බව ය.

උපුටා ගැනීම : www.mawbima.lk

total views 0

The post “පේරාදෙණියේ නවක වධය” අප්‍රසන්න වීඩියෝවක් ලීක් වෙයි! [VIDEO] appeared first on Colombo Tribune.

…read more

Source:: Colombo Tribune